ඉතින් තිළිණි ඔයා කොහොමද මේ තරම් පුංචි වයසකින් ක්ෂේත්‍රයට ආවේ?
මම පුංචි කාලේ සමුද්‍ර දේවි විද්‍යාලයට ගියේ. ඒ පුංචි කාලේ පටන්ම මට නිවේදන කටයුතු කරන්න ආසාවක් තිබුණා. ඒ ආසාව නිසාම රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ ළමා කුසලතා වැඩසටහනේ නිවේදන පාඨමාලාවක් හදාරන්න ගියා. ඒ අතර TV Lanka ආයතනයේ ළමා කුසලතා සංවර්ධන කියන වැඩසටහනත් නිෂ්පාදනය කළා. මට ඒ වැඩසටහනේ නිවේදිකාවක් වෙන්න අවස්ථාව ලැබුණා.
මට එය තමයි පළමුවෙන්ම නිවේදන ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව ලැබුණේ. මට ඒ වැඩසටහන කරන විට අවුරුදු 14 යි. ඊට පස්සේ අපි වැඩසටහන් 100 වෙනකල් කළා. ඒ වැඩසටහන කරමින් සිටින අතරේ ජාතික රූපවාහිනියේ ළමා පුවත් සඳහා නිවේදිකාවන් ගන්නවා කියලා දැන්වීමක් දැකලා ඒකට අයදුම්පත්‍රයක් දැම්මා.
ඒ වැඩසටහනින් ළමා නිවේදිකාවක් ලෙසින් මම තේරිලා 2006 වසරේ ළමා පුවත් කියන්න පටන් ගත්තා. එවිට එහි වැඩ සටහන් භාර ලාල් හේමන්ත මාවලගේ සහ මහින්ද ගුණතිලක යන මහත්වරු තමයි නිෂ්පාදකවරු ලෙස කටයුතු කළේ. ඒ අයගේ ගුරුහරුකම් එක්ක මම අවුරුදු තුනක් ප්‍රවෘත්ති කිව්වා.
2009 අවුරුද්දේ තමයි උසස් පෙළ කළේ. ඉන් පසුව ළමා පුවත් කීම අවසන් කරලා බැංකුවක පුහුණුවන බැංකු සහායිකාවක් ලෙස වැඩ කරන්න ගියා. ඔය වැඩ කරන කාලේ තමයි මට දැනගන්න ලැබුණේ ස්වර්ණවාහිනයේ Live at 8 වලට නිවේදිකාවන් තෝරා ගන්න බව. ඊට පස්සේ ඒකට අයදුම් කළා. පරීක්ෂණයට විශාල සංඛ්‍යාවක් හිටියා. හරේන්ද්‍ර ජයලාල් මහතා තමයි පරීක්ෂණය කළේ. අන්තිමට පස් දෙනෙක් තෝරා ගෙන එයිනුත් තෝරා ගත්තේ මාව විතරයි. එදා පටන් අද වෙනකල්ම ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත්, නිෂ්පාදන සහායිකාවක් ලෙසත් කටයුතු කරනවා.
ඔය වගේ පුංචිම තැනකින් මාධ්‍ය ජීවිතය පටන් ගත්තු තිළිණි අද ඔබ සිටින තත්ත්වය ගැන මොකද හිතෙන්නේ?
මම වගේ පුංචි කෙනෙක් මේ වගේ දුරක් පැමිණීම ගැන මටම පුදුම හිතෙනවා. අද මම ප්‍රවෘත්ති නිවේදිකාවක් සහ ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරනවා. මෙය මම ප්‍රාර්ථනා කළ හීනයක්. මම උසස් පෙළ සමත් වෙලා බැංකු රස්සාවකට යද්දී මගේ සිහිය බොඳ වෙයිදෝ යන සැකය තිබුණ. නමුත් මගේ හිතේ තිබුණු ආසාව නිසාම මගේ ඉලක්කයට යන්න පුළුවන් වුණා. මෙය ඇත්තටම මගේ වාසනාවට ලැබුණු දෙයක්.
ඔබ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීයයි. එවැනි පසුබිමක් ගොඩ නඟා ගත්තේ කොහොමද?
අපේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ගොඩක් වෙනස්. විශේෂයෙන්ම අපේ ඉදිරිපත් කිරීමේ ශෛලියත් සමඟ අපට පුළුවන් වුණා ප්‍රේක්ෂකයෝ අප වෙත ආකර්ෂණය කර ගන්න. සමහර අවස්ථාවලදී වඩාත් සංවේදී සිද්ධි අපි ඉදිරිපත් කරලා තියෙනවා. විනෝදය සතුට වගේම අපට ඇඬෙන දුක හිතෙන සිදුවීම් තිබෙනවා.
මට මතකයි මෑතදී මවක් තමුන්ගේ දරුවා ගඟට දාපු සිද්ධිය. සමහරු කියනවා අපි තිරය ඉදිරියේ සංවේදී ලෙසින් රඟපානවා කියලා. නමුත් අපිට දැනෙන සිද්ධි අපේ හදවත සසල කරන සිද්ධි අපේ රටේ වෙද්දී සැබැවින්ම අපේ ඇස්වලටත් කඳුළු ආපු අවස්ථා තිබෙනවා.
මම මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම හරහා සමාජය ගැන, මාධ්‍ය ජීවිතය ගැන විශාල අත්දැකීම් සම්බාරයක් ලබාගෙන තිබෙනවා.
මම මෙම අංශයට එක් වෙද්දී හරේන්ද්‍ර ජයලාල්, රංශී රණසිංහ වැනි අයගේ අත්දැකීම් දක්ෂතා සමඟ මම ක්ෂේත්‍රයට එද්දී මට අලුත් දෙයක් කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. එයින් ප්‍රවෘත්ති කීම පමණක් නොවෙයි. රටේ තොටේ වෙන සිද්ධියක් ගැන සොයා ගෙන රටට කියන්න අවශ්‍ය දෙයක් නිර්මාණය කරලා ඉදිරිපත් කිරීමටත් මට ශක්තිය ලැබුණා. එයින් මගේ හැකියාව රටට පෙන්වනවා වගේම මගෙන් රටට වෙන්න ඕනෑ දේ හොයලා බලලා වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා.
තිළිණිගේ මාධ්‍ය ජීවිතයේ අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද?
මට අමතකම නොවන සිදුවීම තමයි මම මුලින්ම වැඩසටහන් ඉදිරිපත් කිරිමට ආපුම කාලේ වුණු සිද්ධියක්. එදා පෝය දවසක්. ඔසරිය ඇඳලා කොණ්ඩයත් බැඳලා ප්‍රවෘත්ති කියනවා. විනාඩි දහයක් විතර යද්දී මට තේරෙනවා මගේ කොණ්ඩේ බුරුල් වෙලා වැටෙන්න ළඟ බව.
කොණ්ඩේ හදන්න ක්‍රමයක් නැහැ. Brake එකේදී හදාගන්න කාලයකුත් නැහැ. මම News බීම් එකට කතා කළා. එතනින් කිව්වා හෙල්ලෙන්නේ නැතිව වැඩේ කරගෙන යන්න කියලා. මොනවා කරන්න ද ඔලුව හොල්ලන්නේ නැතුව විනාඩි 45 විතර ප්‍රවෘත්ති කිව්ව. දෙයියනේ කියලා ප්‍රවෘත්ති අවසන් වෙනකල්ම කොණ්ඩය ගැළවුණේ නැහැ.
ඔබ මාධ්‍යයට එක් වෙන්න ආසාව ඇති වුණේ මාධ්‍යයට සම්බන්ධ තිළිණිගේ කවුරු හරි කෙනෙක් හිටියාද?
නැහැ. මගේ පියා රැකියාව කළේ වරාය සම්බන්ධ පෞද්ගලික ආයතනයක. අම්මා කඩුවෙල නගර සභාවේ. අයියා මාධ්‍යයට සම්බන්ධව හිටියේ නැහැ. නමුත් මම මාධ්‍යයට එක් වුණාට පස්සේ වීඩියෝ එඩිටින්වලට එකතු වුණා. එහෙම නැතුව අපේ පවුල් පසුබිමේ කවුරුවත් මාධ්‍යයට සම්බන්ධ නැහැ.
තිළිණි ඔබගේ මාධ්‍ය ජීවිතයට අමතරව මොකද කරන්නේ?
දැනට මම නීතිවේදී උපාධිය හදාරනවා. එය සම්පූර්ණ කරලා මම කරන්නේ මොකක්ද කියලා හිතුවේ නැහැ. මම නීතිඥවරියක් වශයෙන් වැඩ කරන්නත් නිවේදන කටයුතු කරන්නත් තමයි මගේ ඉදිරි අපේක්ෂාව.
උපුටා ගැනීම - සරසවිය පුවත්පත
No comments